Latest Articles

Gen Zලා කියවන්නෙ මොනවද?

වැඩිහිටියෝ හිතනවා Gen Zලා කියවන්නේ නෑ කියලා. ඒක වැරදියි. එයාලා කියවන්නේ නෑ නෙවෙයි, කියවන්නේ වෙන විදියකට, වෙන තැනක.
Gen Z ගේ කියවීම ලෝක තුනකට බෙදෙනවා.

සිංහල Wattpad ලෝකය – ලොකුම ලෝකය

මේක තමයි දැන් ලංකාවේ තරුණ පාඨකයන්ගේ ඇත්තම ලෝකය. පොත් ප්‍රදර්ශනයේ නෙවෙයි, ෆෝන් එක ඇතුළේ තියෙන ලෝකය.

මෙතන අංක 1 තමයි ආදර කතා. ඉස්කෝලේ ආදරය, රග්බි – ක්‍රිකට් ආදරය, මාෆියා ආදරය, BL සහ GL කතා. රදළ, කස්තුරි සුවඳ, Diary of Oliviya වගේ කතා ගැන දැන් තරුණ අය කතා කරන්නේ පිස්සුවෙන් වගේ.

කස්තුරි සුවඳ කතාව ගැන කමෙන්ට් වල ගොඩක් අය කියනවා ඒක තමයි තමන් මුලින්ම කියවපු Wattpad කතාව, මුලින්ම කියවපු BL නවකතාව කියලා, තාමත් අමතක කරන්න බෑ කියලා.

Wattpad වල විශේෂත්වය තමයි, කතාව දිනපතා එන එක. අද පරිච්ඡේදය ඉවර වුණ ගමන්, හෙට එකට බලන් ඉන්නවා. පාඨකයෝ කමෙන්ට් වලින් ලේඛකයා එක්ක කතා කරනවා. Fan edit හදනවා.

සමහරු නුවර වැව ළඟින් යද්දිත් හිතන්නේ, මේ තමයි මගේ කතාවේ චරිත ජීවත් වෙන තැන කියලා. ඒ තරමට චරිත එයාලට ඇත්ත වෙලා.

මේ කියවීම ගොඩක් වෙලාවට රහසේ, රෑට, දෙමව්පියෝ නොදැන කරන කියවීමක්.

2. English BookTok ලෝකය – Romantasy ලෝකය

දෙවෙනි ලෝකය තමයි Instagram, TikTok වල ඉන්න BookTok ලෝකය.

මෙතන අංක 1 තමයි Romantasy. ඒ කියන්නේ ආදරයයි, මායාවයි, යුද්ධයයි එකට තියෙන කතා. Fourth Wing, A Court of Thorns and Roses වගේ පොත් මෙතන දෙවියෝ වගේ.

ලංකාවේ ළමයි විශේෂයෙන් ආදරේ කරනවා ලංකාවේ කතාවක් ඇසුරින් ලියවුණු Her Soul for a Crown වගේ පොත් වලට. අනුරාධපුරය, යක්ෂයෝ, පළිගැනීම ගැන ලියවුණු කතාවක්, ලෝක මට්ටමේ Romantasy විදියට ලියවුණාම, ඒක අපේ ළමයින්ට වෙනමම ආඩම්බරයක්.

ඒ වගේම A Good Girl’s Guide to Murder වගේ Thriller පොත් වලටත් ලොකු ඉල්ලුමක් තියෙනවා. මොකද ඒවා වේගවත්, ප්‍රහේලිකාවක් වගේ, Netflix සීරීස් එකක් බලනවා වගේ දැනෙන නිසා.

BookTok වලදී පොතක් ජනප්‍රිය වෙන්නේ පොතේ කතාව නිසා විතරක් නෙවෙයි, ඒ පොත කියවලා ඇඬුණා, හිත රිදුණා කියලා කවුරු හරි වීඩියෝ එකක් දැම්මොත්.

3. මුද්‍රිත පොත් ලෝකය – තාමත් ඉන්න ලෝකය

තුන්වෙනි ලෝකය තමයි පොත් ප්‍රදර්ශනයේ ලෝකය.

Gen Z තාමත් මුද්‍රිත පොත් ගන්නවා. ඒත් එයාලා තෝරන්නේ වෙනස්. පරිවර්තන කතා, ෆැන්ටසි, අබිරහස් කතා වලට ලොකු කැමැත්තක් තියෙනවා.

ඒත් මෙතන ලොකු විවාදයක් තියෙනවා. සමහර වැඩිහිටියෝ කියනවා දැන් ප්‍රදර්ශනයේ තියෙන්නේ මාකටින් වලින් විකුණන, ලිංගිකත්වයයි කුණුහරුපයි වැඩි, බාල පොත් කියලා. තවත් අය කියනවා, ළමයින්ට කැමති දෙයක් කියවන්න ඉඩ දෙන්න ඕන කියලා.

ඒක ඇත්ත. මොකද Gen Z හොයන්නේ පාඩම් පොතක් නෙවෙයි. එයාලා හොයන්නේ තමන්ව තේරුම් ගන්න කතාවක්.

අවසානයේ…
ඉතින් Gen Z කියවන්නේ මොනවද කියලා ඇහුවොත්, උත්තරය එකක් නෙවෙයි තුනයි.

සිංහලෙන් ආදරය, ඉංග්‍රීසියෙන් මායාව, මුද්‍රණයෙන් තාමත් හොඳ කතාවක්.

එයාලා කියවීම නැවැත්තුවේ නෑ. කියවීමේ තැන විතරයි වෙනස් වුණේ. පොත් රාක්කේ ඉඳන්, ෆෝන් එකේ තිරයට ගියා විතරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *