Blog
පොත් ගිලින ටෙක් යෝධයන්ගේ රහස් මෙහෙයුම (Project Panama)
දැවැන්ත හයිඩ්‍රොලික් කැපුම් යන්ත්‍රයක (Hydraulic Guillotine) තියුණු තලය පහළට ඇදී එන හඬත් සමඟ, දශක ගණනාවක් පැරණි ඝන කවරයක් සහිත පොතක පිටකොන්ද දෙකඩ වී යයි. ඉන් වෙන්වන පිටු සිය ගණනක් අධිවේගී ස්කෑනර් යන්ත්‍ර තුළින් වේගයෙන් ඇදී ගොස් ඩිජිටල් දත්ත බවට පත්වෙද්දී, ඒ වටිනා මුද්‍රිත පිටු අවසානයේ ඉතිරි වන්නේ කඩදාසි අඹරන කර්මාන්තශාලාවක කුඩු ගොඩක් ලෙසිනි.
මෙය කිසියම් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක දර්ශනයක් නොවේ. කෘත්‍රිම බුද්ධි (AI) මාදිලි පුහුණු කිරීම සඳහා ලොව ප්රමුඛ පෙළේ තාක්ෂණික දැවැන්තයන් අරඹා ඇති, ලෝකයෙන් වසන් වූ දැවැන්ත මෙහෙයුමක සැබෑ ස්වරූපයයි.
ලාස් වේගාස් කාන්තාරයට ගිය රහස් සංඥාව
මෙම රහසිගත මෙහෙයුමේ සුලමුල ලොවට හෙළි වූයේ අහම්බයකින් නොවේ. පැරණි සහ දුර්ලභ පොත් අලෙවි කරන වෙළෙන්දන් වෙත නාඳුනන ගැනුම්කරුවන්ගෙන් ලැබුණු අසාමාන්‍ය තොග ඇණවුම් පිළිබඳව ඇති වූ සැකය මත, 404 Media නම් ගවේෂණාත්මක තාක්ෂණික මාධ්‍ය ආයතනය ඒ සම්බක්ධ ගවේෂණයට විශේෂ මෙහෙයුමක් ඇරඹී ය. ඒ සඳහා ඔවුහු කැලිෆෝනියාවේ සිට ඇණවුම් කළ පැරණි පොතක් තුළ කුඩා Apple AirTag උපාංගයක් සඟවා තැබූහ.
ප්‍රාන්ත සීමා පසුකරමින් ගමන් කළ එම පාර්සලයේ GPS සංඥාව අවසානයේ නතර වූයේ නෙවාඩා ප්‍රාන්තයේ උතුරු ලාස් වේගාස් (North Las Vegas) කාන්තාර ප්‍රදේශයේ පිහිටි Amazon සමාගමට අයත් “VGT3” නමැති අතිශය රහසිගත ගබඩා සංකීර්ණය තුළ ය.
එම ගොඩනැඟිල්ලේ පිවිසුම අසල ඇති සංකේතය කාගේත් විමතියට හේතු විය—එහි නිරූපණය වන්නේ විවෘත කළ පොතක් ගිල දැමීමට සැරසෙන ටිරන්නෝසෝරස් (T-Rex) ඩයිනෝසරයකුගේ රුවකි. එහි සේවය කරන කම්කරුවන් හෙළි කළ පරිදි, එම මධ්‍යස්ථානයේ එකම කාර්යය වී ඇත්තේ දිනපතා පැමිණෙන පොත් තොගවල බැමි කපා ඉවත් කර, පැය 24 පුරාම ඒවා ස්කෑන් කිරීමයි. Amazon සහ Anthropic සමාගම් අතර පවතින ඩොලර් බිලියන ගණනක උපායමාර්ගික හවුල්කාරිත්වය හමුවේ, මෙම දැවැන්ත යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි විය.
Google Books සිට Anthropic දක්වා:
කුමක්ද මේ ‘Project Panama’?
මෙම පොත් විනාශ කිරීමේ ව්‍යාපෘතියේ අභ්‍යන්තර තොරතුරු කරළියට පැමිණියේ, අමෙරිකානු ලේඛකයන් වන ඇන්ඩ්‍රියා බාට්ස් (Andrea Bartz), චාල්ස් ග්‍රේබර් (Charles Graeber) සහ කර්ක් වොලස් ජොන්සන් (Kirk Wallace Johnson) යන පිරිස Anthropic සමාගමට එරෙහිව පැවරූ Bartz v. Anthropic නඩුවේ රහසිගත ලේඛන අධිකරණය මගින් ප්‍රසිද්ධ කිරීමත් සමඟ ය.
එම ලේඛනවලට අනුව, Anthropic සමාගම, “Project Panama” යන රහස් නාමය යටතේ ලොව ඇති සියලුම පොත් ඩිජිටල්කරණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් අරඹා තිබේ. මෙහි ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ මීට පෙර Google Books ව්‍යාපෘතියේ ප්‍රධාන විධායකයකු ලෙස කටයුතු කළ ටොම් ටර්වි (Tom Turvey) නමැත්තා ය.
“ලෝකයේ ඇති සියලුම පොත් විනාශකාරී ලෙස ස්කෑන් කිරීම (destructively scan) අපගේ ඉලක්කයයි.” — Anthropic අභ්‍යන්තර ලේඛනයකින්
මේ සඳහා ඔවුන් ඩොලර් මිලියන ගණනක් වැය කරමින් පාවිච්චි කළ පොත් අලෙවිසල්, පුණ්‍යායතන සහ පොත් තොග වෙළෙන්දන්ගෙන් එකවර පොත් දහස් ගණනේ සිට මිලියන ගණන දක්වා මිලදී ගෙන ඇත. පසුව ඒවා කපා, ස්කෑන් කර, මුල් පිටපත් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා තිබේ.
නීතියේ හිඩැස් සහ 2022 ට පෙර ලෝකය සෙවීම
අන්තර්ජාලය පුරා ඩිජිටල් දත්ත තිබියදී, ටෙක් සමාගම් මෙතරම් වියදමක් දරා මුද්‍රිත පොත් මිලදී ගෙන විනාශ කරන්නේ ඇයි? ඊට පසුපස ප්‍රධාන හේතු දෙකක් තිබේ:
- නීතිමය ආරක්ෂාව (First-Sale Doctrine): මීට පෙර AI සමාගම් අන්තර්ජාලයේ ඇති නීතිවිරෝධී පොත් එකතූන් (Shadow Libraries – උදාහරණ ලෙස LibGen සහ Books3) භාවිත කිරීම නිසා දැවැන්ත ප්‍රකාශන හිමිකම් නඩුවලට මුහුණ දුන්නේය. නමුත් එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු විලියම් ඇල්සප් (William Alsup) ලබා දුන් තීන්දුවකට අනුව, අන්තර්ජාලයෙන් හොර පිටපත් බාගත කිරීම නීතිවිරෝධී වුවත්, මුදල් ගෙවා මිලදී ගත් මුද්‍රිත පොතක් විනාශ කර තම අභ්‍යන්තර භාවිතය සඳහා එක් ඩිජිටල් පිටපතක් සකසා ගැනීම ඇමෙරිකානු නීතියේ “පළමු විකුණුම් මූලධර්මය” (First-Sale Doctrine) සහ “පරිවර්තනීය සාධාරණ භාවිතය” (Transformative Fair Use) යටතේ නීත්‍යානුකූල වේ.
- පිරිසුදු මානව දත්තවල හිඟය: 2022 වසරේ ChatGPT වැනි AI මෙවලම් කරළියට පැමිණීමෙන් පසු, අන්තර්ජාලය, AI මගින්ම නිර්මාණය කළ දෝෂ සහිත සහ අර්ථශූන්‍ය ලිපි පිරී ගොස් තිබිණි. එවැනි දත්ත මත නැවත AI Models පුහුණු කිරීමෙන් මාදිලිවල බුද්ධිය පිරිහීමට (Model Collapse) ලක්වේ. එබැවින්, 2022 ට පෙර මිනිසුන් ලියා, ඔවුන් ම සංස්කරණය කර මුද්‍රණය කළ පොත්පත් AI සමාගම්වලට “රත්තරන් හා සමාන” පිරිසුදු ඉන්ධනයක් බවට පත්ව ඇත.
ඉතිහාසය කුඩු කර තනන අනාගතය
එක්සත් ජනපද නීතියේ අර්ථ දැක්වීමට අනුව මෙය සාධාරණීකරණය කළ හැකි වුවත්, ඉතිහාසඥයන්, පුස්තකාලාධිපතිවරුන් සහ පොත් ලෝලීන් මෙය දකින්නේ මානව ශිෂ්ටාචාරයට එල්ල වන බරපතල තර්ජනයක් ලෙස ය.
තොග පිටින් මිලදී ගෙන විනාශ කරන මෙම පොත් අතර නැවත කිසිදා මුද්‍රණය නොවන දුර්ලභ ග්රන්ථ (Out-of-print editions), ඓතිහාසික සටහන් සහ පැරණි පාඨකයන් පිටුවල සිදු කළ වටිනා සටහන් පවා තිබිය හැකි ය. ඒ සියල්ල හුදු පරිගණක කේත (Tokens) බවට පත් කර, භෞතික උරුමය අඹරා විනාශ කිරීමෙන් අප ගොඩනඟන්නේ කුමන ආකාරයේ බුද්ධියක්ද යන ප්රශ්නය අද මුළු ලෝකය ඉදිරියේ ම ඉතිරි වී තිබේ.